සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

මඩිහේ මහනාහිමි ජීවිත කථාව කෙටියෙන්...

1913 ජුනි 21 දා මාතර දිස්ත‍්‍රික්කයේ මඩිහේ ගමේ උපත ලත් අතිපුජ්‍ය මඩිහේ මහනාහිමි වයස අවුරුදු 13 දී පැවිදි බිමට ප‍්‍රවිෂ්ට වුහ. උන්වහන්සේගේ උපාධ්‍යායින් වහන්සේ, අතිපුජ්‍ය වේරගම්පිටියේ ශ‍්‍රී රේවත මහ තෙරුන් වහන්සේ වුහ. බම්බලපිටියේ වජිරාරාමාධිපති අතිපුජ්‍ය පැලෑනේ වජිරඤණ හිමි උන්වහන්සේගේ ආචාර්යපාදයන් වුහ. 1933 දී මඩිහේ නාහිමි උපසපන් වුහ. 1941 දී මඩිහේ නාහිමි, මහචාර්ය ගුණපාල මලලසේකර මහතා යටතේ කොළඹ විශ්ව විද්‍යාලයෙහි දී ලබන ලද අධ්‍යාපනයෙන් පසු 1941 දී විද්‍යා විශාරද උපාධියෙන් පිදුම් ලදහ. 1946 දී පූජ්‍ය ථායි ෂු මහතෙරුන්ගේ ආරාධනා පරිදි, මඩිහේ නාහිමි, වජිරාරාමවාසී සෝම, ඛේමින්ද යන භික්ෂුන් වහන්සේලා දෙනම සමග චීනයට වැඩියහ. එරටට ථෙරවාද බුද්ධාගම හදුන්වාදීම එම ගමනේ අභිප‍්‍රාය විය. මෙය මඩිහේ නාහිමියන්ගේ ප‍්‍රථම ධර්මදූත ගමන විය. 1954 දී බුරුමයේ පවත්වන ලද ඡුට්ඨ සංගායනාවෙහි පඨමක සුධි කමිටුවට පත්කරනු ලැබු උන්වහන්සේ එම අවුරුද්දේ දී ම බෞද්ධ කටයුතු ගවේෂණය සදහා පත් කරන ලද කමිටුවේ සාමාජිකත්වය සහ බුද්ධ ජයන්ති ත‍්‍රිපිටක මණ්ඩලයේ සාමාජිකත්වය ඉසුලූහ. 
මහානායක ස්වාමින් වහන්සේගේ අපවත්වීමෙන් පසු 1955 නොවැම්බර් 27 දින අමරපුර ශ‍්‍රී ධර්මරක්ෂිත නිකායේ නායක පදවියෙන් පිදුම් ලත් මඩිහේ නාහිමි, එවන් සම්භාවණීය තත්ත්වයකින් පිදුම් ලත් වයසින් බාලම භික්ෂුන් වහන්සේ යැයි සදහන් වෙයි.
අප ස්වාමින් වහන්සේගෙන් සිදුවුන විශිෂ්ටතම ශාසන සේවය ලෙස සැලකෙන්නේ කොටස් 21 ලෙස බෙදී සිටි අමරපුර නිකාය එක්කොට ශ‍්‍රී ලංකා අමරපුර ශ‍්‍රී ධර්මරක්ෂිත නිකාය බිහි කිරීම යි. 1992 දී අප ස්වාමින් වහන්සේ එම නිකායේ මහානායක පදවියෙන් පිදුම් ලද්දෝය.
1958 අපේ‍්‍රල් 21 දා මහරගම ශ‍්‍රී වජිරඤණ ධර්මායතනය ස්ථාපිත කිරීම, අප නාහිමියන්ගේ බුද්ධ ශාසනයේ සේවයට කැපවුණු ජීවිත මාර්ගයේ සැතපුම් කණුවකැ යි කිව හැක.
අම්පිටියේ ශ‍්‍රී රාහුල හිමියන් විසින් ආරම්භයේ සිට දීර්ඝ කාලයක් නායකත්වය දෙමින් මෙහෙය වන ලද මෙම ආයතනය එදා සිටි සෙනට් සභික ඩි.එල්.එෆ්. පේද්‍රිස් මහතාගේ සභාපතිත්වය යටතේ ශාසන සේවක සමිතියේ උදව් උපකාර ඇතිව ප‍්‍රජාවට හා ශාසනයට කළ සේවය සදානුස්මරණීය යි. මෙම ආයතනයේ ප‍්‍රධාන කාර්යය වූයේ ධර්ම විනය අනුව භික්ෂුන් වහන්සේලා පුහුණු කිරීම ය. අදත් භික්ෂුන් වහන්සේලා මෙහි දී එම පුහුණුව ලබති.
1964 දී අතිපුජ්‍ය මඩිහේ මහානාහිමි එකල සාසන සේවක සමිතියේ සම ලේකම් ධුරය දැරූ ඕල්කට් ගුණසේකර මහතා සමග ලෝක අධ්‍යයන චාරිකාවක යෙදුණහ. එයට අනුග‍්‍රාහකත්වය සපයන ලද්දේ ආසියා පදනම විසිනි. මහනාහිමියන් විසින් නායකත්වය දෙමින් ගෙන යන ලද ග‍්‍රාමීය ප‍්‍රජා සංවර්ධන වැඩ සටහන කෙරේ මෙ ආයතනය පැහැදී සිටිම එම අනුග‍්‍රහයට හේතු විය. මඩිහේ මහනාහිමියන්ගේ මෙම චාරිකාව ප‍්‍රථම ථෙරවාද බෞද්ධ පන්සල වන වොෂින්ටන් බෞද්ධ විහාරය ඉදි කිරිම, එක්සත් ජනපද 4එච් ක්ලබ් අනුව තුරුණු සවිය ආරම්භ කිරිම, බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානයක් බිහිවීම යන කර්තව්‍යයන්ට හේතු කාරක විය.
මහානාහිමියන්ගේ තවත් නව අදහසක් ලෙස පුන් පොහෝ දිනවල වෙන් වෙන්ව අටසිල් සමාදාන වැඩ සටහන් තුනක් එනම් ළමා, තුරුණු සහ වැඩිහිටි යන ත‍්‍රිවිධ කාණ්ඩ සදහා ආරම්භ කිරිම සදහන් කළ යුතු ය.
දිවයිනේ පෙරමුණ ගත් දහම් පාසලක් ලෙස ගෞරවය දිනාගෙන සිටින මහරගම සිරි වජිරඤණ දහම් පාසල, ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6000 ක් දහම් දැනුම ලබන මඩිහේ මහනාහිමියන්ගේ මග පෙන්විම හා අනුශාසකත්වය යටතේ වැඩුණු තවත් ආයතනයකි.
බුද්ධ ශාසන කටයුතු සදහා ස්ථාපිත සාසන සේවක සමිතියට සමාන්තරව ධර්මවිජය පදනමට මහනාහිමියන් විසින් පුරෝගාමිත්වය දෙන ලද්දේ ප‍්‍රජා වැඩ කටයුතුවලට සහ ආර්ථික, අධ්‍යාපනික, සෞඛ්‍ය හා සදාචාර යන සතර වැදෑරුම් වු සමාජ සංවර්ධනය හා උන්නතිය ඉලක්ක කොට ගෙන ය. ආරම්භයේ සිට එහි අනුශාසකත්වය දැරූ මහනාහිමි, ධර්මවිජය පදනම භාරකාරවරුන් හැම බ‍්‍රහස්පතින්දා දින පැවැත්වු රැස්වීමකටම පැමිණීම කිසි විටක අමතක කළේ නැත. ස්වාභාවික වේවා මිනිසුන් විසින් ඇති කරන ලද වේවා හැම විපතකදී ම සහන සැලසීමට විශේෂිත සංවිධාන තිබිය යුතු යැයි කී උන්වහන්සේගේ බුද්ධිමත් සංකල්පනයේ වැදගත්කම සුනාමි ව්‍යසනයේ දී මැනවින් ස්ඵුට විය.
ආගමික හා ශාස්ත‍්‍රීය ක්ෂේත‍්‍රයන්හි මහානාහිමි යන්ගේ පුරෝගාමිත්වය කැපී පෙනුණේය. ත‍්‍රිපිටක ධර්ම කෝෂයට සහ පාළි, සිංහල හා ඉංග‍්‍රිසි ශබ්දකෝෂයට උන්වහන්සේ පුරෝගාමී වුහ. කොටස් වශයෙන් කරන ලද මේවායේ මුද්‍රිතයන් බොහෝ ය. ජාතික ප‍්‍රශ්නවල දී හා බුද්ධ ශාසනයට අදාළ කරුණුවල දී මහනාහිමියෝ අභීතව හඩ නැගූහ. අනවරතව උන් වහන්සේගේ අත රැඳුණු පෑන උන්වහන්සේගේ ප‍්‍රබල අවිය විය. 
ජාතියේ සාධුගුණ, ජාතික සමගිය, සදාචාරාත්මක නොවන ආගම්කරණය, දුප්පත්කම තුරන් කිරීම, දුම්වැටි හා මත්පැන් භාවිතය ඉහළ මට්ටමක තිබීම සහ මේ තත්ත්වය මැඩ පැවැත්වමට රජය මැදිහත්විය යුතු බව, ජනගහණ ප‍්‍රතිපත්තිය හා උපත් පාලනය, සංඝ සමගිය, අධ්‍යාපනය, සෞඛ්‍යය හා පෝෂණය, සංවර්ධන න්‍යාය යන මේ අංශ යටතේ මහනාහිමියන් විසින් ලියන ලද ලිපි සිය ගණනකි.
මඩිහේ නාහිමියෝ ජාතික සංවිධාන 20 ක අනුශාසකයාණෝ වූහ. මහා සංඝයා වහන්සේ, දේශපාලන නායකයෝ සහ මහජනතාව උන්වහන්සේගේ අවවාද, උපදෙස් නිරතුරුව පැතූහ.
අවුරුදු 70 ක් පුරා විහිදි මහානාහිමියන්ගේ පැවිදි දිවිය තුළ කරන ලද අනගි සේවය අගයමින් බුද්ධ ශ‍්‍රාවක ධර්ම පීඨය විසින් ප‍්‍රවචන විශාරද යන ගෞරව නාමය උන්වහන්සේට ප‍්‍රදානය කරනු ලැබිණ. පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා තායිලන්තයේ චූලා ලංකෝන් විශ්ව විද්‍යාලය පි.එච්.ඩි.උපාධිය පිරිනැමීය.


මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමි අවලෝකනය     


මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමි හෙවත් රටම හඳුනන මඩිහේ නායක හාමුදුරුවන් වහන්සේගේ 100 වැනි ජන්ම දිනය වර්ෂ 2013 ජුනි මස 21 දාට සැපිරෙයි. උන්වහන්සේ මාතර මඩිහේ ගමෙහි පස්‌ දෙනෙකුගෙන් යුතු ගරු කටයුතු පවුලේ බාලයා ලෙස ටෙනිසන් විල්මට්‌ පූජිත ගුණවර්ධන නමින් වර්ෂ 1913 ජුනි 21 දා උපත ලැබීය. පසුව ධර්මයට නැඹුරු වූ මේ දරුවා වර්ෂ 1926 ජුනි 24 දා පැවිද්ද ලබා ගත්තේය. ඒ මඩිහේ ප්‍රඤ්ඤාසීහ ලෙස කඹුරුගමුවේ දේවගිරි විහාරයේදීය. උන්වහන්සේගේ ගුරු නාහිමියන්ගේ මඟ පෙන්වීම යටතේ පසුව කොළඹ වජිරාරාමයේ පැළෑනේ වජිරඥාණ නායක හිමියන්ගේ මඟ පෙන්වීම හා අනුශාසනා යටතේ අධ්‍යාපනයද භික්‍ෂු විනයට අනුව දිවිපුහුණුවද ලැබුහ. දේශීය මෙන්ම විදේශීය ධර්මදූත මෙහෙවර ද කළහ. පැළෑනේ නායක හිමියන් 1955 සැප්තැම්බර් 21 දා අපවත් වූ අතර ඒ හිමියන් ඇවෑමෙන් ශ්‍රී ධර්මරක්‍ෂිත නිකායේ නායක පදවියට පත්වූයේ එවකට හතළිස්‌ දෙහැවිරිදි වූ මඩිහේ පඤ්ඤාසීහ හිමියන්ය. එය ඒ හිමියන්ගේ අතිමහත් ශාසනික සේවයට පිටුවහලක්‌ විය. 1956 දී ඇති වූ බෞද්ධ ප්‍රබෝධය සමඟ මඩිහේ පඤ්ඤාසීහ හිමියන්ගේ මූලිකත්වයෙන් විසිරී තිබූ අමරපුර නිකායන් එක්‌සේසත් කර අමරපුර මහාසංඝ සභාව පිහිටුවනු ලැබූ අතර 1985 දී සමස්‌ත අමරපුර මහා සංඝ සභාවේ සියලු නිකායන්ගේ මහානායක ධුරයට ද පත් වූහ. උන්වහන්සේ අපවත් වන තෙක්‌ම ඒ ධුරය බබළවමින් එහි වැඩ සිටියහ. 

සිංහල බෞද්ධයන්ට භික්‍ෂූන් වහන්සේලා දෙයාකාරයකින් වැදගත් වේ. එනම් සම්බුද්ධ ශාසනය සැදුම්ලත් භික්‍ෂු, භික්‍ෂුණි, උපාසක, උපාසිකා යන සිවුවනක්‌ පිරිසට ධර්මානුකූලව ජිවත් වීමේ මග පෙන්වා දෙන්නේ භික්‍ෂුන් වහන්සේලා විසින් වීමය. එයිනුත් ආදර්ශවත් සුසිල්වත් ගෞරවයට පාත්‍ර වූ නායක මහා තෙරුන්වහන්සේලා විසින් සුවිශේෂී ජිවන බලපෑමක්‌ සාධු ජනයාට ලබා දෙති. භික්‍ෂුවක්‌ ලෙස ධර්මානූකූල ජීවිතයක්‌, ආදර්ශවත් හැසිරීමත් යන කරුණු දෙකින්ම අන් භික්‍ෂූන් වහන්සේලාට ද, ගිහියන්ට ද මඩිහේ නාහිමි සැබෑම ආදර්ශයක්‌, සංකේතයක්‌ වූහ. 

සිංහල බෞද්ධයන් භික්‍ෂූන් වහන්සේලාගෙන් අපේක්‍ෂා කරන තවත් වැදගත් වගකීමක්‌ ද වේ. එනම් ශාසනය රැකගැනීමයි. සිව්වනක්‌ පිරිසේම ආරක්‍ෂාව ධර්මානුකූලව තහවුරු කිරීමය. අපගේ මහාවංශයට අනුව විජය කුමරු ඇතුළු පිරිස ලංකාවට පැමිණෙන ආකාරය දිවැසින් දුටු පිරිනිවන් මංචකයේ සිටි බුදුරජාණන් වහන්සේ ලංකා දිවයිනෙහි තම ශාසනය පිහිටුවන බව දැක ඔවුන් ආරක්‍ෂා කරන ලෙස සක්‌ දෙව්ගෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ. එමෙන්ම බුදුරජාණන් වහන්සේ තෙවරක්‌ ශ්‍රී ලංකාවට වැඩම කිරීමත් අපගේ රජවරුන් විසින් සත්වරක්‌ ශ්‍රී ලංකාව ශාසනයට පූජාකිරීමත් නිසා බුදු සමය ආරම්භ කර පෝෂණය කිරීම භික්‍ෂූන් වහන්සේගේ ඓතිහාසික වගකීමක්‌ විය. ඒ සඳහා සිව්වනක්‌ පිරිස රැක ගැනීමත්, එනම් සිංහල ජාතිය සුරක්‍ෂිත කිරීමත් උවදුරකින් තොරව රට ආරක්‍ෂා කිරීමත් අවශ්‍ය විය. අපේ භික්‍ෂූන් වහන්සේලා මේ ඓතිහාසික වගකීම ඉටු නොකරන්නට ශ්‍රී ලංකාවෙන් පමණක්‌ නොව ලොවෙන්ම බුදුදහම අතුරුදහන් වීමට ඉඩ තිබිණි.

ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් බුදු දහම අතුරුදහන් වුයේ, මධ්‍ය ආසියාවෙන් එය සහමුලින් විනාශ වුයේ, මධ්‍ය රාජ්‍ය ලෙස හැඳින්වූ චීනයේ එය දුර්මුඛ වුයේ, ඇµaගනිස්‌තානය, කාශ්මීරය, බංගලිදේශය, ඉන්දුනීසියාව, මාලදිවයින ආදී රාජ්‍යවල බෞද්ධයන් අන්‍ය භක්‌තිකයන් වූයේ සිංහල භික්‍ෂු වංශය විසින් ඓතිහාසිකව ඉටුකළ වගකීම ඒ සමාජවල ඉටු නොවූ නිසාය.

වසර 2300 සිට අධික කාලයක්‌ ලංකාවේ බහුතර ඇදහීම බුද්ධාගම වූ අතර නොනැසී අඛණ්‌ඩව භික්‍ෂු ශාසනයද පැවැති බැව් ලිත ඉතිහාසය පෙන්වා දෙයි. එම ක්‍රියාදාමය පැරණි උරුමයක්‌ ලෙස වෙනත් කිසිම රටක, කිසිම සමාජයක, කිසිම ආගමක සිදුවී නැත.

මඩිහේ මහානායක හිමියන් භික්‍ෂුවක්‌ ලෙසද, සිංහල භික්‍ෂුවක්‌ ලෙසද මේ වගකීම් දෙකම මනාව ඉටුකළ නුතන යතිවරයාණන් බවට විවාදයක්‌ නැත.

1956 දී සිදු වූ ජාතික ජයග්‍රහණය එහි ප්‍රතිඵලයක්‌ විය. නමුත් මහ සඟරුවන දේශපාලන පිරුවටයක්‌ බවට පත් කිරීමට ඇතැම් පිරිස්‌ ඒ මහා ජයග්‍රහණයෙන් පසු කටයුතු කළ විට වරද නිවැරදි කරන්නට මහ සඟරුවනට සිදු විය. සිංහල රාජ්‍ය භාෂාව කරන්නට ද (ඒ හා සමඟම දෙමළ උතුර නැගෙනහිර පරිපාලන බසක්‌ විය.) එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරවා ගැනීමද (සිංහල රාජ්‍ය භාෂාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක වූයේ 1961 ජනවාරි 01 දා සිටය.) මඩිහේ මහානායක හිමියන්ගේ කැපවීම මූලික විය. විශේෂයෙන් බෞද්ධ නොවන ආගම්වල ග්‍රහණයට හසුව තිබූ පාසල් ආණ්‌ඩුවට ගෙන නිදහස්‌ අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ ප්‍රජාතන්ත්‍රවාදයත් ස්‌ථාපිත කිරීමට 1961 දී සිරිමා බණ්‌ඩාරනායක මැතිනිය දැරූ උත්සාහයට දසතින් බාධා තර්ජන එල්ලවද්දී අභීතව ඒ මහා ඓතිහාසික අසාධාරණය තුරන් කරන්නට සියල්ලන්ටම ධෛර්යය දුන්නේ මඩිහේ මහානායක හිමියන්ය. අද නිදහස්‌ අධ්‍යාපනය එහි වචනයේ පරිසමාප්ත අරුතෙන්ම ක්‍රියාත්මක වන රටවල් අතළොස්‌ස අතුරෙන් අඩු ආදායම් ලබන එකම රට ලෙස සිටිනා ලංකාව, දරුවන්ගේ සාක්‍ෂරතාව, දැනුම, දියුණු කාර්මික රටවල මට්‌ටමටත් වඩා ඉහළ තැනකට නැංවුයේ, කාන්තා පිරිමි භේදයකින්, ධනවත් දුප්පත් භේදයකින්, කුලමල භේදයකින් තොරව අධ්‍යාපනයේ අයිතිය රටේ සෑම දෙනාටම ලබාදුන් නිසාය. පාකිස්‌තානයේ මෙන් අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඉල්ලා කෑගසන, ලේ හලන දැරිවියන් ලංකාවේ නැත්තේත්, ඉන්දියාවේ මෙන් කුලහීනයන්ට අධ්‍යාපනයට කෝටා - පංගුව නොදෙන මෙන් ඉල්ලා කෑගසන, ලේ හලන ව්‍යාපාර ලංකාවේ නැත්තේත්, මඩිහේ නාහිමි ඇතුළු අපේ හිමිවරු සිදුකළ ඒ මහා සමාජ මෙහෙවර නිසාය.

දෙමළ ජාතිවාදි දේශපාලනය යුග තුනක්‌ විසිවන සියවස තුළ සටහන් කළේය. මුල් යුගයේදී (1910-27) පොන්නම්බලම් දෙබෑයන් උත්සාහ කළේ ඉංග්‍රීසින්ගෙන් පසු මුළු ශ්‍රී ලංකාවේම පාලකයන් වන්නටය. ඩොනමෝර් කොමිසම සර්වජන ඡන්ද අයිතිය යෝජනා කළ විට එයින් සිංහලයන් හා කුලහීනයන් ඡන්ද අයිතිය ලබා ගනී යන්න මත ඔවුහු එයට එරෙහි වූහ. ඉන්පසු ජී. ජී. පොන්නම්බලම් මහතා රාජ්‍යය දෙමළ හා දෙමළ නොවන ලෙස හරි හරියට බෙදා ගැනීම සඳහා 50(50 යෝජනා ගෙන ආවේය. රටේ ජනගහනයෙන් 12% කට රටේ දේශපාලන බලයෙන් 50% ක්‌ ලැබීම ප්‍රජාතාන්ත්‍රික නොවන බව සියල්ලනට වැටහී ගියෙන් සෝල්බරි ව්‍යවස්‌ථාවෙන් ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධි මහජන නියෝජිත ක්‍රමය ඒ ලෙසට ක්‍රියාත්මක නොවීය. එවිට මැලේසියාවේ සිට 1906 දී ශ්‍රී ලංකාවට පැමිණි චෙල්වනායගම් මහතා විසින් වසර 3000ක්‌ උතුර හා නැගෙනහිර දෙමළ නිජභූමිය පිහිටා ඇතැයි පවසමින් වෙනම දෙමළ රාජ්‍යයක්‌ පිහිටුවීම සඳහා දෙමළ රාජ්‍ය පක්‍ෂය (1949) පිහිටුවනු ලැබීය. චෙල්වනායගම් හා වන්නියසිංහම් විසින් උතුර හා නැගෙනහිර දෙපළාත්වල සිංහලයන් සංවිධානාත්මකව පළවා හැරීමට ක්‍රියාත්මක වූ බවත්, එමෙන්ම නැගෙනහිර පළාත් සංවිධානාත්මකව දෙමළ ජනපද පිහිට වූ බවත්, 1961 ජනවාරි මස බලයෙන් වෙනම රාජ්‍යයක්‌ පිහිටුවීමට උත්සාහ දැරූ බවත් අමතක නොකළ යුතුය. එය ප්‍රචණ්‌ඩ උද්ඝෝෂණයක්‌ විය.

ඉන්පසු එය ප්‍රචණ්‌ඩ සිංහල විරෝධී අරගලයක්‌ බවට පත්විය.1981 දී සර්ව පාක්‍ෂික සමුළුව කැඳවිණි. එවකට විපක්‍ෂය බවට පත්ව සිටි, දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ එයට සහභාගි වූ අතර එහිදී සිංහල භික්‍ෂු වංශයේ අදහස ඉදිරිපත් කළේ මඩිහේ හිමියන්ය. ජනවාර්ගික ප්‍රශ්නයක්‌ නැති බවත්, උතුර හා නැගෙනහිර දෙමළ නිජබිම් සංකල්පය මිත්‍යාවක්‌ බවත් සංවර්ධන ප්‍රගතිය නැත්නම් එයට විසඳුම කුඩා ග්‍රාමීය ඒකකවලට සංවර්ධනය ගෙනයැම බවත් එහිදී උන්වහන්සේ අවධාරණය කලහ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද නියෝජනයෙන් දිස්‌ත්‍රික්‌ සංවර්ධන සභා සංකල්පය ඇතිවිය. එයට සියලු පක්‍ෂවල එකඟත්වය ඇති විය. 

සිංහල ජාතිවාදීන් සැමවිටම ඕනෑම විමධ්‍යගත කිරීමකට හෝ ඉඩ නොදී සාමය කඩාකප්පල් කරන පිරිසක්‌ බවට ඇතැමුන් කරන චෝදනා මෙයින් බිඳවැටිණි. දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණද පිළිගත් ජනවර්ග පදනම් නැති සංවර්ධන විසඳුමක්‌ රටටම යෝජනා වී ක්‍රියාත්මක විය.

එය කඩාකප්පල් කළේ ආයුධ සන්නද්ධ දෙමළ ජාතිවාදී පිරිස්‌ විසිනි. ඉන්පසු ඉන්දියාවද (1983) සෘජුව ත්‍රස්‌තවාදයට උදව්දීමට ඉදිරිපත් වූ අතර 1977, 79, 81, 83 ආදී ලෙස සංවිධානාත්මකව සිංහල ජනයා යාපනයෙන් පළවාහැරීම හා පසුව උතුරේ හා නැගෙනහිර වෙනත් ප්‍රදේශවලට කඩා පැන සිංහල ගම්මාන කැතිගෑම ඇරඹිණි.(1984-වැලිඔය) මඩිහේ ප්‍රඤ්ඤාසීහ නාහිමියන් එකී ඝාතනවලට එරෙහිව අභීතව නැගී සිටි අතර යාපනයේත්, වැලිඔයේත්, ත්‍රිකුණාමලයේ පළවා හැරුණු අපේ ජාතීන්ට උපකාර කිරීමට ශාසන සේවක සමිතිය හා මුළු ධර්මායතනයම විවෘත කළහ.

1986 දී බහුතර විපක්‍ෂය සහභාගී නොවූ සර්වපාක්‍ෂික සමුළුවක්‌ වෙතින් පළාත් සභා ක්‍රමයක්‌ යෝජනා වූ විට එයට එරෙහිව අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක හිමියන් සමඟ මඩිහේ මහ නායක හිමිද සිය විරෝධය කැටි කළහ. එය එදා මව්බිම සුරැකීමේ ව්‍යාපාරය ආදී ජාතිමාමක බලවේගවලට විශාල ආධ්‍යාත්මික ශක්‌තියක්‌ විය.

ඉන්දියාවේ බලපෑම උත්සන්න වී 1987 දී ඝාතන රැල්ලක්‌ සමඟින් තදබල මිනිස්‌ සංහාරයක්‌ සමඟ ඉන්දු - ලංකා ගිවිසුමට අත්සන් තැබිණි. එමඟින් උතුර හා නැගෙනහිර දෙමළ වාසභූමි ලෙස පිළිගැනිණි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කළ අතර පළාත් සභා ක්‍ර්‍රමය පිහිටුවිණි. මේවා බලහත්කාරය මත සිදු නොකර ජනයාගේ අනුමැතිය ඇතිව කළයුතු බව මඩිහේ නාහිමියන් එදා ජයවර්ධන ජනාධිපතිතුමාගෙන් මහාසංඝයා වහන්සේ සමඟ එක්‌ වී ප්‍රකාශයක්‌ මඟින් ඉල්ලා සිටියහ. එහි මෙසේ සඳහන් විය.

"උතුර හා නැගෙනහිර දමිළයන්ගේ ඓතිහාසික වාසභූමිය හැටියට සාම ගිවිසුමෙන් (ඉන්දු - ලංකා ගිවිසුම - 1987) සඳහන් කර තිබීම සම්පුර්ණ අසත්‍යයකි. සාම ගිවිසුමෙන් උතුරත් නැගෙනහිරත් ඒකාබද්ධ කරන්නට ජනාධිපතිතුමා (ඡේ. ආර්. ජයවර්ධන - 1987) විසින් අත්සන් කොට ඉඩදීම සියයට දොළහයි දශම හයක්‌ වන ලංකා දෙමළ ජනතාවට ලක්‌ පොළවෙන් තුනෙන් එකකට ආසන්න ලබාදීමක්‌ යෑයි එයට සම්බන්ධ බලවතුන් ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කර ඇත. පළාත් සභා පනත සම්මත වී උතුර හා නැගෙනහිර පළාත් සභාව පිහිට වූ පසු ඔවුන් ඊළාම් කොඩිය ඔසවනවා නොඅනුමානය. එය වර්ධරාජා පෙරුමාල් විසින් 1989 දී සිදුකළේය.

පාඨලී චම්පික රණවක
තාක්‍ෂණ, පර්යේෂණ හා 
පරමාණුක බලශක්‌ති අමාත්‍ය
2013 ජුනි 21 සිකුරාදා දිවයින


free counters

දහම් රස වින්දෝ